ගෝස්ට්! අන්තර්ජාලයේ ඔබට අතථ්‍ය පරිඝණකයක් (Virtual Computer)

ඔන්න ඕනෑම කෙනෙකුට දැන් අන්තර්ජාලය හරහා තමන්ගේම අතථ්‍ය පරිඝණකයක (Virtual Computer) අත්දැකීම විඳ ගත හැකියි. මෙම සේවාව හඳුන්වන්නේ ගෝස්ට් (G.ho.st – Global Hosted Operating System) හෙවත් ගෝලීය සංග්‍රාහක මෙහෙයුම් පද්ධතිය ලෙසයි.

Ghost-Desktop-Small
ගෝස්ට් මෙහෙයුම් පද්ධතියේ ඩෙස්ක්ටොපය (මවිසින් වෝල්පේපරය වෙනස් කළ පසු), විශාල කිරීමට ඡායාරූපයේ ක්ලික් කරන්න

මෙමගින් ඔබට ගිගා බයිට් 15ක දත්ත ගබඩා කර හැකි ලොව ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැකි අන්තර්ජාල පරිඝණකයක සේවාව ලබා ගන්න පුළුවන්. මෙහිදී භාවිතා වන්නේ අන්තර්ජාලය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් වන අතර ඒ හරහා ඔබේ මූලික පරිඝණක අවශ්‍යතාවයන් සඳහා සැකසුන වැඩසටහන් සහ සේවාවන් කිහිපයකින් ගෝස්ට් සමන්විතයි.

සරල පාලන පැනලයක් හරහා ගෝස්ට් මෙහෙයුම් පද්ධතිය ඔබට අවැසි ආකාරයට සකසා ගත හැක. තවද ට්විටර්, ‍ෆ්ලිකර් වැනි සමාජ ජාලා (Social Networks) සඳහා අන්තර්ගත (in-built) වැඩසටහන් වලින් සමන්විත ගෝස්ට් බහුමාධ්‍ය (multimedia) සඳහා ද සහය දක්වයි. මයික්‍රොසොෆට් වර්ඩ් ගොනු විවෘත කළ හැකි සෝහෝ රයිටර් නම් පාඨ සංස්කාරක වැඩසටහනකින් ද මයික්‍රොසොෆට් එක්සෙල් සඳහා සෝහෝ ශීට්ස් නම් පැතුරුම් පත් වැඩසටහනකින් ද ගෝස්ට් සපිරි ය. ගූග්ල් සහ යාහූ වැනි අන්තර්ජාල සේවාවන් රැසක් ද ගෝස්ට්හි ඇතුලත්ය.

Ghost-Control-Panel-Small
ගෝස්ට් මෙහෙයුම් පද්ධතියේ පාලන පැනලය, විශාල කිරීමට ඡායාරූපයේ ක්ලික් කරන්න

Ghost-Zoho-Writer-Small
සෝහෝ රයිටර් සමග පෙළ සංස්කරණය, විශාල කිරීමට ඡායාරූපයේ ක්ලික් කරන්න

Ghost-Zoho-Sheets-Small
සෝහෝ ශීට්ස් සමග ප්‍රස්ථාර, විශාල කිරීමට ඡායාරූපයේ ක්ලික් කරන්න

ගෝස්ට් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි මෙම අන්තර්ජාල මෙහෙයුම් පද්ධතිය තවමත් පවතින්නේ බීටා නිකුතුවේය. ගෝස්ට් නොමිලේ ලැබෙන සේවාවක් වන අතර ඉතා කෙටි සහ සරල ලියාපදිංචි වීමකින් අනතුරුව භාවිතා කළ හැක.

මා ද ගෝස්ට් අත්හදා බැලීම ඇරඹුවා පමණි, නමුත් අනාගතයේ දී ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවක් බවට පත් වීමට බොහෝ ඉඩ ඇත. තවද ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට ද ගෝස්ට් උපකාරී වන බව මගේ හැඟීමයි. ඔබත් ඉඩ ලද ‍විටෙක භාවිතා කර අදහස් දක්වන මෙන් මා ඉල්ලා සිටිනවා.

ගෝස්ට් වෙබ් අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

ලොව අමතක කළ ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා – ලොවම එළිය කළ මිනිසා

නිකොලා ටෙස්ලා යන නාමය මට මුලින්ම හමු වූයේ “ද ප්‍රෙස්ටීජ්” (The Prestige (2006)) චිත්‍රපටයේ එක්තරා චරිතයක් ලෙසයි. එම චරිතය සැබෑ පුද්ගලයකු මත පදනම් වූවක් බව මා කිසි විටෙකත් සිතුවේ නැත. නමුත් පසු ගිය දහවන දා (ජූලි 10ය) මා නෙත ගැටුන ලිපියක් නිසා නිකොලා ටෙස්ලා යනු අප කිසි ලෙසකින්වත් අමතක නොකළ යුතු ශ්‍රේෂ්ඨ පුද්ගලයකුයැයි මට සිතුනා. සරලව කියතොත් අද ඔබේ නිවසට විදුලි බලය ලැබී ඇත්තේ මෙම අපූරු විද්‍යාඥයා නිසා. මෙම ලිපිය පදනම් වන්නේ ඔහු ගැන මා අන්තර්ජාලයෙන් සොයා ගත් වැදගත් මෙන්ම සිත් ගන්නා තොරතුරු කිහිපයක් මතය.

Nikola-Tesla

මොහුගේ විශිෂ්ඨතම මෙන්ම වඩාත් ප්‍රයෝජනවත්ම සොයා ගැනීම වන්නේ විදුලිය බෙදා හැරීම සඳහා ප්‍රත්‍යාවර්තක ධාරා (Alternating current) යොදා ගැනීම වඩාත් සාර්ථක බව ලොවට එළි කිරීමයි. මේ වන විට භාවිතා වූයේ තෝමස් අල්වා එඩිසන් හඳුන්වා දුන් සරල ධාරා (Direct current) මූලික කොට ගත් විදුලිය බෙදා හැරීම ක්‍රම‍යකි. ටෙස්ලා ප්‍රත්‍යාවර්තක ධාරා යොදාගනිමන් එඩිසන්ගේ යාන්ත්‍රණයේ තිබූ අඩු ඵලදායීතාවයට පිළිතුරක් ලබා දුන්නේය. මෙය ප්‍රත්‍යාවර්තක ධාරා සහ සරල ධාරා අතර සටනක් දක්වා වර්ධනය වූ අතර අවසානයේ ටෙස්ලා ජයගත්තේ අද අපට විදුලි බලය ‍ලැබෙන තාක්ශණයේ මුල් පියවර තබමිනි.

1856යේ ජූලි 10වන දා ක්‍රොයේෂියාවේ දී උපත ලද නිකොලා ටෙස්ලා වසර 1884 දී ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූයේය. ඔහුගේ අනෙකුත් සොයා ගැනීම් අතර නූතන විදුලි මෝටරය, රැහැන් රහිත සන්නිවේදනය සහ සම්ප්‍රේෂණය, මූලික ලේසර් තාක්ශණය, ප්‍රතිදීප්ත විදුලි පහන් (fluorescent bulbs), දුරස්ත පාලක සහ ජල විදුලිජනක යන්ත්‍ර මුල් තැන ගනී.

Nikola-Tesla-Home

මෙවන් විශිෂ්ඨ දෑ රැසක් ලොවට තිළිණ කළ මේ අපූරු මිනිසා 1943 ජනවාරි මස 7වන දා ඔහු වසර 10ක් පුරා රැඳී සිටි හොටෙල් නිව් යෝකර් හි 3327 දරණ කාමරයේදී ලොවෙන් සමු ගන්නේ ලොව අද භාවිතා කරන බොහෝ දෑ ලොවට ඉතිරි කරමින්. නමුත් අද ඔහු ලොවටම අමතක වී ඇත්දැයි ඔහු පිළිබඳ ලිපි කියවන විට මා හට සිතුණි. ඔහු ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

ගූග්ල් වෙතින් නව මෙහෙයුම් පද්ධතියක්

ගූග්ල් ක්‍රෝම් යන නම දුටු විට ඔබේ සිතට නැගෙන්නේ මොනවාද? වෙබ් බ්‍රව්සරයක් කියා ඔබ පිළිතුරු දේවි. නමුත් 2010 දී ගූග්ල් ක්‍රෝම් පිළිබඳ විමසූවොත් ඔබේ පිළිතුර මෙහෙයුම් පද්ධතියක් නැතහොත් OS එකක් කියා ප්‍රකාශ වනු ඇත. ඒ ගූග්ල් සමාගම විසින් හඳුන්වා දීමට නියමිත ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය නිසායි.

Google-Chrome-OS

ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය ගූග්ල් සමාගමේ තවත් විප්ලවීය ඉදිරිපත් කිරීමක්. මෙම මෙහෙයුම් පද්ධතිය පිළිබඳ ඔවුන් මුලින්ම ප්‍රකාශයට පත් කරේ පසුගිය අඟහරුවාදා. අන්තර්ජාලය වැඩි පුර භාවිතා කරන්නන් වෙනුවෙන් නිමවෙන ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය නෙට්බුක් (Netbook) පරිඝණක මෙන්ම ඩෙස්ක් ටොප් පරිඝණක සඳහා ද සුදුසු බවයි පැවසෙන්නේ.

ලිනක්ස් පදනම් කරගෙන නිර්මාණය වන ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියේ මූලික ගුණාංග වනුයේ වේගය, ආරක්ෂාව සහ සරල බවයි. පරිඝණකය පණ ගන්වා තත්පර ගණනකින් අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි ලෙස නිපදවෙන ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතියේ බොහෝ වැඩසටහන් සහ සේවා අන්තර්ජාලය පදනම් කරගෙන ක්‍රියාත්මක වන බව ගූග්ල් ආයතනය පවසනවා.

ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය පිළිබඳ සීමිත තොරතුරු ප්‍රමාණයක් එළි දැක්වූවත් මෙය ද ගූග්ල් වෙතින් නොමිලේ ලැබෙන සේවා අතරට එක් වන බවට ගූග්ල් ක්‍රෝම් බ්ලොග් අඩවියේ සඳහන් වනවා.

වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳුම් වෙත පිවිසෙන්න

ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය පිළිබඳ නිල දැනුම් දීම
ගූග්ල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය පිළිබඳ නිතර නැගෙන විමසීම් (FAQs)

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

ජීමේල් බීටා වලින් ඔබ්බට

ගූග්ල් සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධාන සේවාවන් කිහිපයක්ම බීටා තත්වයෙන් ඔබ්බට රැගෙනයාමට වේගවත්ව කටයුතු කරමින් තිබෙනවා. පසුගිය අඟහරුවාදා සිට ජීමේල් (Gmail), ගූග්ල් දින දසුන (Google Calendar) සහ ගූග්ල් ලිපි (Google Docs) යන අන්තර්ජාල වැඩසටහන් වල ලාංඡන වල බීටා වචනය භාවිතය ගූග්ල් සමාගම විසින් නතර කොට තිබෙනවා.

Gmail-Out-of-Beta

විශේෂයෙන්ම වසර 2004 අප්‍රේල් පළවන දා ඇරඹි ජීමේල් (Gmail) සේවාව අවුරුදු පහකට වඩා අධික කාලයක් බීටා අවදියේ පසු වුනා. මේ වන විට මිලියන 100 කට අධික පිරිසක් ජීමේල් භාවිතා කරන බව පැවසෙනවා.

මෙම වැඩසටහන් දිගු කාලයක් බීටා අවදියේ පසු වීමට හේතුව ලෙස ගූග්ල් සමාගම දක්වන්නේ වැඩසටහන් වලට නව විශේෂාංග එක් කිරීමට ඔවුන් ගන්නා නිරන්තර උත්සාහය බවයි. නමුත් මෙම වැඩසටහන් බීටා තත්වයෙන් ඔබ්බට රැගෙනයාම සිදු කරන්නේ කවර මිනුම් දණ්ඩකට අනුවදැයි ඔවුන් ප්‍රකාශ කොට නැත.

බීටා තත්වයෙන් මිදුනත් මෙම වැඩසටහන් දියුණුකිරීමට සෑම විටම පියවර ගන්නා බවට ගූග්ල් සමාගම සහතික වෙයි.

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 මිල ගණන් එළි දැක්වේ

මේ ලිපිය පල කරන්න හිතුවේ අපේ සිංහල බ්ලොග් කියවන කට්ටිය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7ගැන දක්වන උනන්දුව නිසා. ඔක්තෝම්බර් 22දා එළිදැක්වෙන වින්ඩෝස් 7හි මීල ගණන් ද පසුගිය සතියේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරා. පහත දැකවෙන මිල ගණන් නිකුත් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට වන අතර ලංකාවේ දි සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් විය හැක.

Windows-7-Ultimate

සම්පූර්ණ නිකුතුව (Full Retail Version)
 
වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් $199.99
වින්ඩෝස් 7 ප්‍රොෆෙෂනල් $299.99
වින්ඩෝස් 7 අල්ටිමේට් $319.99
 
යාවත්කාලීන කිරීමේ නිකුතුව (Upgrade Version) – දැනට ලියාපදිංචි වින්ඩෝස් XP සහ විස්ටා මෙහෙයුම් පද්ධති සඳහා.
 
වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් $119.99
වින්ඩෝස් 7 ප්‍රොෆෙෂනල් $199.99
වින්ඩෝස් 7 අල්ටිමේට් $219.99
 

වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම්, ප්‍රොෆෙෂනල් සහ අල්ටිමේට් පද්ධතීන්හි විශේෂාංග ගැන දැනගැනීමට මෙතන ක්ලික් කරන්න.

මෙම මිල ගණන් ලංකාවට කොහොම බලපායි ද දන්නෙ නැති වුණත් දැනුවත් කිරීම හොඳයි කියලා හිතුනා.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

කුලර් – ඔබේ වර්ණ ගලපගන්න

වර්ණ සංයෝජනය කියන්නෙ බොහෝ දෙනෙකුට අසීරු දෙයක්. ඔබ කුමන අකාරයක හෝ නිර්මාණයක යෙදෙනවානම් වර්ණ සංයෝජනය යනු බොහෝ විට එහි වැදගත් කොටසක් වෙන්න පුළුවන්. මේ සඳහා ඔබට අපූරු සහායක් ලබාදෙන සේවාවක් තමා කුලර්. අප හොඳින් දන්නා ඇඩෝබ් සමාගමෙන් එන සුපිරි නමුත් නොමිලේ ලැබෙන සේවාවක් වන කුලර් මගින් නොයෙකුත් වර්ණ තේමා දහස් ගණනක ආභාෂය අපට ලබා ගැනීමට හැකි වෙනවා.

Kuler-Home-Page

තවද අප සිත් ගත් වර්ණ තේමාවක් වේද එය වර්ණ සමූහයක් ලෙස බාගත කොට (Download as a colour swatch) ඇඩෝබ් ෆොටෝෂොප්, ඇඩෝබ් ඉලස්ට්‍රේටර් වැනි ඇඩෝබ් මෘදුකාංග සමග භාවිතා කිරීමේ පහසුවත් අපට ලැබෙනවා.

වර්ණ අධ්‍යයනය කිරීමට අමතරව ඔබේම වර්ණ තේමා නිර්මාණය කිරීමේ හැකියාව කුලර් ලබා දෙන අතර එම වර්ණ තේමාවන් කුලර් සමාජික සමූහය සමග බෙදා ගැනීමටත් පුළුවන්. ඔබ සතු ඡායරූපයක් උපයෝගී කරගෙන එහි ඇති වර්ණ ආශ්‍රයෙන් වර්ණ තේමා නිර්මාණය කිරීමේ ඉඩකඩද කුලර් සතුයි.

Kuler-Colour-Theme-Creater

මෙම සේවාව නොමිලේ ලබා ගැනීමට නම් ඔබට ඇඩෝබ් හැඳුනුම් පතක් තිබිය යුතුයි. නොමිලේ ඇඩෝබ් හැඳුනුම් පතක් ලබා ගැනීමට පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කරන්න.

https://www.adobe.com/cfusion/membership/index.cfm?nf=1#

ඇඩෝබ් කුලර් සමග සම්බන්ධ වීම සඳහා පහත වෙබ් ලිපිනය  භාවිතා කරන්න.

http://kuler.adobe.com/

ඔබත් විවේකී අවස්ථාවක වර්ණ සංයෝජනය පිළිබඳ දැනුවත් වීමට කුලර් භාවිතා කර බලන්න, ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් ද දක්වන්න.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

ඔබේ ආගන්තුක පත අලුත් කරනවානම් මෙන්න අදහස්

ඉදිරියේදී ඔබේ ආගන්තුක පත (තේරෙන භාෂාවෙන් කියනවානම් visiting card) වෙනස් කරනවානම් හෝ වෙනත් අයෙකු සඳහා නිර්මාණය කරනවානම් ඒ ගැන අදහස් ගන්න හොඳම තැන තමා කාඩ් ඔබ්සර්වර් (Card Observer) යන වෙබ් අඩවිය.

Card-Observer

මෙම වෙබ් අඩවිය මගින් ආගන්තුක පතක් නිර්මාණය කර ගැනීමට විවිධ අදහස් ලබා ගන්න පුළුවන්. කාඩ් පත නිර්මාණය කර ගැනීමේ සිට යොදා ගත හැකි කඩදාසි, මුද්‍රණ උපක්‍රම සහ වර්ණ සංයෝජනය වැනි දෑ පිළිබඳ මනා අවබෝධයක් මෙමගින් ලබා දෙනවා. ලොව දක්ෂ නිර්මාණකරුවනගේ නිර්මාණ ගැලරියක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම අඩවියට ඔබේ නිර්මාණද ලබා දීමේ අවස්ථාදව ඔවුන් ලබා දී තිබෙනවා.

කාඩ් ඔබ්සර්වර් සමග සම්බන්ධ වීම සඳහා පහත සඳහන් අන්තර්ජාල අඩවියට පිවිසෙන්න.

http://cardobserver.com/

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

ගූග්ල් භාවිතා කරන්නන් සොයන්නේ මොනවාද – ගූග්ල් ඉන්සයිට්ස්

ගූග්ල් යන්න අපි හැම‍දෙනාගෙම ශබ්දකෝෂයේ කොටසක්. නොදන්නා යම්කිසි දෙයක් දෙයක් විමසූ විට අපි බොහෝ වෙලාවට කියන්නේ ගූග්ල් කරන්න කියායි. ඒ ගූග්ල් සෙවුම් යන්ත්‍රය නිසා. මෙසේ රට රටවල සි‍ටින අන්තර්ජාලය භාවිතා කරන්නන් වැඩිපුරම සොයන්නේ මොනවාද? සෙවුම්  සඳහා ගූග්ල් ඉන්සයිට්ස් (Google Insights ‍for Search) මගින් ඔබට ඒ ගැන සියළු තොරතුරු දැනගන්න පුළුවන්.

Google-Insights-for-Search

මෙහි ඇති ප්‍රධානම විශේෂාංගය තමා එක් එක් රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන් වැඩිපුරම සොයා ඇති පද මොනවාද යන්නයි. උදාහරණයක් ලෙස 2009 දී ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් වැඩිපුරම සෙව්වේ මොනවාද දැනගැනීමට ඔබ කළ යුත්තේ “Worldwide” යන්න වෙනුවට “Sri Lanka” ද වසර සඳහා 2009ද තෝරා ගැනීමයි. එවිට ඔබට ලාංකිකයන් වැඩිපුරම සෙවූ පද දහයත් මෑතකදී වැඩි වැඩියෙන් සෙවූ පදත් දැක බලා ගත හැකියි.

ගූග්ල් ඉන්සයිට්ස්හි තවත් විශේෂාංගයක් තමා පද කිහිපයක් ලොව පුරා හෝ එක් එක්  රටවල අන්තර්ජාලය භාවිතා කරන්නන් සෙවීම සඳහා භාවිතා කළ ආකරය පිළිබඳව වීශ්ලේෂණයක් ලබා ගැනීමට හැකි වීමයි. මේ සඳහා ඔබ කළ යුත්තේ “Add search term” යන්න භාවිතා කර ඔබට අවැසි පද එක් කර “Filter” යන කොටසේ ඇති දෑ උවමනා පරිදි තෝරාගැනීමයි.

ගූග්ල් ඉන්සයිට් සඳහා පහත සඳහන් අන්තර්ජාල අඩවියට පිවිසෙන්න.

http://www.google.com/insights/search/

ගූග්ල් ඉන්සයිට් භාවිතා කිරීමට ඉතා පහසු සේවාවක්. එහි ඇති තෝරාගැනීම් සඳහා ඔබට අවැසි දේ ලබා දීමෙන් ඔබට විවිධ තොරතුරු ලබා ගත හැක. විවේකී වේලාවක අත්හදා බලා ඔබේ අදහස් දක්වන මෙන් මා ඉල්ලා සිටිනවා.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 ඔක්තෝම්බර් 22දා එළිදැක්වෙයි

ඔන්න බොහෝ දෙනා බලා සිටි මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය මෙම ඔක්තෝම්බර් මස නිල වශයෙන් එළිදැක්වෙන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා. එම මස 22දා වෙළඳාම සඳහා නිකුත් කිරීමට නියමිත වින්ඩෝස් 7 දැනටමත් බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන තියෙනවා.

Windows-7

තවද ප්‍රමුඛ පෙලේ පරිඝණක නිපදවන්නන් පවසන්නේ ඔක්තෝම්බර් 23දා සිටම ඔවුන්ගේ පරිඝණක සමග වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ලබා දිය හැකි බවයි.

මෙම දිනය දැනටමත් ස්ථිර කොට ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසන අතර එය එසේ වේදැයි අපි බලා සිටිමු.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

ඔබේ තිරය මිතුරෙකුට පෙන්වන්න – ස්කයිප් 4.1 බීටා

ඔන්න දැන් ස්කයිප් හරහා ඔබේ පරිඝණක තිරය මිතුරෙකුට පෙන්වීමට සැලැස්විය හැකියි. මෙම පහසුකම ලැබෙන්නේ මැයි 27 වනදා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නිකුත් කළ ස්කයිප් 4.1 බීටා වලිනි.

Skype-4.1-beta

ඔබේ පරිඝණකයේ ඇති ගැටළුවක් නිරාකරනය කර ගැනීමට හෝ ඔබේ තිරයේ ඇති ඕනෑම දෙයක් ඔබේ ස්කයිප් මිතුරෙකුට පෙන්වීම සඳහා ස්කයිප් 4.1 බීටා භාවිතා කළ හැකියි. මෙම පහසුකම සඳහා කිසිදු අය කිරීමක් නැති අතර ඔබේ මිතුරාගේ පරිඝණකයේ මෙහෙයුම් පද්ධතියද මේ සඳහා බල නොපායි. ස්කයිප් වෙබ් අඩවියට අනුව මෙම පහසුකම මුලින්ම හඳුන්වා දී ඇත්තේ ස්කයිප් 2.8 මැකින්ටොශ් නිකුතුවටයි.

මෙම පහසුකම තවමත් අත්හදා බලන්න අවස්ථාවක් උදා වුනේ නෑ. නමුත් යම්තාක් දුරට ප්‍රයෝජනවත් දෙයක්යැයි මා සිතනවා.

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා ස්කයිප් 4.1 බීටා ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න